ශ්‍රී ලංකා බ්ලොග් අවකාශයට නවකයෙක් වන මා දැනට ලිපි 4 ක් ප්‍රචාරය කර ඇති මුත් ලැබෙන ප්‍රතිචාර ගැන සෑහීමකට පත් නොවෙමි. නමුත් ලිපි කියවන්නන් සිටින බව පෙනේ. ගුණ අගුණ කියා සිටින්නේ නම් මැනවි.
ඉතිං පටන් ගන්නම් බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 05
අංසවිධානාත්මක අප ආහාර වේල පිළිබඳ ආණුඩු දක්වන ලද ප්‍රතිචාරයන් ද සැලකිල්ලට ගැනීම වටී. වී නිෂ්පාදනය ඉහළ යාම අනුව උදයටද බත් ආහාරයට ගන්නා ලෙසට ආණ්ඩුවක් දුන් උපදෙස් මෙහි ලා සටහන් කළ යුතුව ඇත. නිෂ්පාදනව ඉහළ පහළ යාම අනුව ආහාර රටාව වෙනස් කිරීමට උපදෙස් දීම කොතරම් ප්‍රඥාවන්ත දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
අපේ කුස්සිය පරීක්ෂා කර බැලුවහොත් ඉන් ගෙවත්තෙන් හා අවටින් ගත හැකි එළවළු හා පළතුරු ඉන් ඉවත් වී රූපවාහිනී නාලිකා හරහා ගලා එන සොසේජස් නූඩ්ල්ස් හා විවිධ රසකාරක අරක්ගෙන ඇති බව පෙනේ. ගෙවත්ත හා අවට තිබූ නැවුම් එළවළු හා පළතුරු සතා සිව්පාවාට සිතැඟි පරිදි පරිභෝජනය කිරීමට අවස්ථාව සැලසී ඇත. අප කෘතීම ආහාර ගැනීමට ඇබ්බැහි වීම වාණිජ කරණය සමඟ බද්හාධ වූ කාරණාවක් වී ඇති බව පෙනේ.
උදයට පොල්සම්බල් ආහාරයට ගැනීමට බොහෝ පිරිස් පෙළඹී ඇති අතර එළවළුවක් දෙකක් හා මාළු කැබැල්ලක් සමඟ බත් අනුභවයට ජනතාව කැමැත්තක් දක්වයි. රාත්‍රියට ගන්නා ආහාර වේල ද මෙම ආකෘතියම වේ. නව ආහාර වේල් සඳහා රසකාරක ලෙස සුප් කැට ඇති තරම් යොදන අතර මිරිස් තුන පහ පොත් තෙල් සමඟ අධික ලෙස ලුණු ද පරිභෝජනයට පෙළඹී ඇත. එළවළු සිය ආහාර වේලට ගන්නා ප්‍රමාණය අවම වෙමින් යන අතර පළාවක් කොල එළවලුවක් ගැනීම සීමිත වී ඇත. මීටත් අමතරව දැන් දැන් ෆ්‍රයිඩ් රයිස් වලට හා කොත්තු වලට අප සමාජය සීඝ්‍රයෙන් යොමුව ඇති අතර කුඹුරෙන් ලැබුණ වී ටික අමතක කරමින් රටින් ගෙන්වන සහලින් අප ගෘහණියන් මස් ස්වල්පයක් සමඟ තෙල් ලුණු හා රසකාරක ඇතුළත් කරමින් විවිධ ලෙසට ෆ්‍රයිඩ් රයිස් සැකසීමට පෙළඹී ඇත. මෙම නව ප්‍රවණතාවය කුඩා දරුවන් හා තරුණ තරුණියන් විශයෙහි ඉතා සීඝ්‍රෙයන් පැතිර යන හානිකර තත්වයකි.
දැන් රට පුරාම විලාසිතාවක් ලෙසට චයිනීස් කැෆේ ව්‍යාප්තව පවතී. මෙමඟින් පැරණි හෝටල් ද එකී වාණිජකරණයට ලක්ව කොත්තු රයිස් අලෙවියට ක්‍රියාකරමින් සිටී. මේවායේ සද්ද නගා හදන කොත්තු රොටී හා රයිස් අපේ ජාතික ආහාරය බවට අදවන විට පත්ව තිබීම කණගාටුවට කරුණක් වේ. මස් ස්වල්පයක් සමඟ රසකාරක යොදා තෙල් හා ලුණු යහමින් ඇතුළත් කර ගන්නා ලද ෆ්‍රයිඩ් රයිස් පොළිතීන් කොල වල ඔතා කඩදාසි පෙට්ටි වල ඇසුරුම් කර නිවසට ගෙන ඒම විලාසිතාවක් බවටද පත්ව ඇත. මෙම ෆ්‍රයිඩ් රයිස් සංකල්පය අප ආහාර රටාව උඩු කටිකුරු කිරීමට ද සමත්ව ඇති බව ද සටහන් කළ යුතුව ඇත.
කමෙන්ටුවක් දැකීම රිසි වෙමි
ලියන්නේ : කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල
Wednesday, April 24, 2019
Tuesday, April 23, 2019
බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 04
තවද එකල අපේ ගෘහණියන්ගේ ආහාර සම්පාදන ක්‍රම වේදද මෙහිලා සලකා බැලීම වටී. අප වට පිටාවේ ඇති දෑ වලින් සිය ආහාර වේල සකස් කර ගැනීමට සමත් එම අය එමඟින් නැවුම් පෝෂණීය සෞඛ්‍යමය ආහාර වේලක් සිය දූ දරුවන්ට ලබා දීමට උනන්දු වී ඇත. මෙම ගෘහණියන් මසකට වරක් හෝ දෙවරක් එරබඳු කොල ව්‍යාංජනයක් සිය දරුවන්ට ලබා දීමට කටයුතු කළ අතර, එමඟින් සිය දරුවන්ගේ ආහාර අරුචිය හා විවිධ පණු රෝග වලට විසඳුම් ලබා දීමටද දැනුවත් වීී ඇත. තවද ගෙවත්තේ වැවුණු අලු කෙසෙල් හෝ ඇඹුල් කෙසෙල් බඩ සමඟ පැපොල් ව්‍යාංජනයක් සපයා දීමට ද එම ගෘහණියන් උනන්දු වී ඇත. සවසට වයස් තරාතිරමක් නොමැතිව ගෘහණියන් කුඹුරු හා ඕවිටි වල සැරිසරණ අතර එහිදී නෙලා ගන්නා පළා වර්ග සෑම ආහාර වේලකටම එක් කර ගැනීමට උත්සාහ කර ඇත. එකල අපේ අම්මලා කරපිංචා, රම්පේ, සේර හා ඉඟුරු ආදී ස්වාභාවික රසකාරක පමණක් භාවිත කළ අතර තෙල් භාවිතය ඉතාම අවම කරන ලදී. අල බතල හා කුරහන් පිටි ආදියට ද සැලකිය යුුතු ස්ථානයක් ලබා දුන් අපේ ගෘහණියන් ආහාර රටාව විවිධාංගීකරණයට ද සමත් වී ඇති බව පෙනේ. මෙමගින් ශ්‍රී ලාංකික ජනතාව ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත්තිය ලබා දියුණු ජන කොටසක්ව පෙනේ.
අපගේ මෙම ආහාර රටාව සියවස් ගණනාවක් පරම්පරාවෙන් පරම්පරාවට නොනැසී පැවති අතර බටහිර නතුව තිබූ යුගයේ ද එහි සැලකිය යුතු වෙනස් කිරීම් කිරීමට නොහැකි වූ බව පෙනේ. එකල පාන් කෑම මදිකමක් ලෙස සැලකූ බොහෝ අය බටහිරයන් අනුගමනය කළ ආහාර රටාව පිළිකුල් කළ බව ද පෙනේ. එහෙත් නිදහසින් පසු යුගයේ දී යටත් විජිත සමයේදීවත් නොවූවා සේ අප ආහාර රටාව පූර්ණ වෙනසකට ලක් වූ බව කිව යුතු වේ. මෙහිදී පුවත්පත්, රේඩියෝ, රූපවාහිනී ඇතුළු මාධ්‍ය වලින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනේ. විශේෂයෙන් විශාල වෙළඳ දැන්වීම් පළ කරමින් මාධ්‍ය හරහා කරන එහි දැනුවත් කිරීම් වලට අප සමාජය ඛේදනීය ලෙස බඳුන් වී ඇති බැව් ද මෙමගින් හරසුන් සමාජයක් බවට අප සමාජය පත් ව ඇති බැව් ද පෙනේ. මෙම ඛේදනීය තත්වය හමුවේ වියතුන් හා මහා ප්‍රාඥයින් සිය මඟ පෙන්වීම් නොකර මුනිවත රැකීම මෙම පරිහානියයට කිසියම් ප්‍රමාණයකින් හේතු වී ඇක.
මතු සම්බන්ධයි ලියන්නේ : කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල
මතු සම්බන්ධයි ලියන්නේ : කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල
Thursday, April 18, 2019
බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 03
බත් වැඩිපුර ආහාරයට ගැනීම හා දවසේ වේල් තුනටම බත් මූලික කොට ගත් අප සමාජයේ රෝගීන් බහුව වෙමින් බුද්ධිමය අතින් පහළ යන රටක් බවට පත්ව ඇති බව පෙනේ. විශේෂයෙන් ම අපේ කාන්තාවන් අධික ලෙස තරබාරුව ඇති අතර ඔවුන් කොලෙස්ටරෝල් දියවැඩියාව ආදී විවිධ බෝනොවන රෝග වලට බඳුන්ව ඇති අතර පිරිමින් ද මීට සමගාමීව රෝගී වී ඇති බව පෙනේ. විශේෂයෙන්ම අප කාන්තාවන්ගෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් තරබාරුව නිසා පීඩාවට පත් වී ඇති බව පෙනේ.
බත් වැඩිපුර ආහාරයට එක් කර ගැනීම මගින් කොලෙස්ටරෝල් දියවැඩියාව ඇතුලු බෝනොවන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති අතර අද වන විට එය 60% පමණ වන බව සංඛ්‍යා ලේඛන විලින් අනාවරණය වේ. මීට බඳුන්ව ඇති අප ආහාර රටාවේ මස්, මාළු හා තංතුමය ආහාර ප්‍රමාණය ඉතා අඩු වන බැවින් ශරීරය අධික ලෙසට තරබාරු වන බවත් මොළය වර්ධනය ඊට සාපේක්ෂව සිදු නොවන බවත් පෙනේ. මෙලෙස රෝගී හා බුද්ධිමය අතින් පහළ යන ජනතාවක් වෙතින් දියුණු සංවර්ධනයක්, ප්‍රගතියක් අපේක්ෂා කරන්නේ කෙලෙසකදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
මෙහදී අප කුඩා කාලයේ දී ගත් ආහාර රටාව පිළිබඳව ද යලි ආපසු හැරී බැලීමක් කළ යුතුව ඇත. එකල වේල තුනෙන් එක් වේලක් බත් හා වෙනත් විකල්ප ආහාරයක් ගැනීමට අප පුරුදුව සිටි අතර, ඉතිරි ආහාර වේල් දෙකට ද එක් කර ගන්නා බත් වල ප්‍රමාණය විශාල නොවිනි. මෙයට දශක තුන හතරට පෙර වු එම ආහාර රටාවේ දී කොස්, දෙල්, අල, බතල, මාළු, දඩමස්, එළවළු හා හොදි වර්ග වලට මුල් තැනක් ලැබුණු අතර, එම දේවල් වල පංගුව ද බත් වලට වඩා වැඩි වූ බව පෙනේ. මෙම පුරාණ කෑම වේල අවසානයේ දී දිවුල් කිරි, වැල වරකා වැනි ස්වාභාවිත පළතුරකට ද ගැමි සමාජය හුරුව තිබිණ. උදය ආහාර සඳහා විවිධ කැඳ වර්ග වලට මුල් කැනක් දුන් අප සමාජය පෙර දින ඉතිරිව තිබූ බත් වලින් දිය බත් හෝ වෙනත් ආහාර සකස් කර අනුභව කළ බව පෙනේ. කොස්, දෙල් වාරයේ දී වැඩිපුර ඇති දේ වියළාගෙන ඒවා නොමැති කලට එම ආහාර අටු කොස්/දෙල් ලෙසට අනුභව කළ බව පෙනේ. අපගේ මෙම පුරාණ ආහාර වේල සුපරීක්ෂා කිරීමේ දී විද්‍යාගාර හෝ වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොලැබුණ ද ඉතා සමබර පෝෂණීය ආහාර වේලක් සරි කර ගැනීමට අපේ ගෘහණියන් සමත් වී ඇත. මෙමගින් අප සමාජය ප්‍රඥාවන්ත භාවයෙන් අනූන නිරෝගී සුපසන් ජාතියක් ලෙසට ලෝකයේ ශක්ති සම්පන්නව සිට බව පෙනේ.
ලියන්නේ කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල විසිනි
ලියන්නේ කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල විසිනි
Wednesday, April 10, 2019
බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 02
සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශිත සමබර ආහාර වේල පිළිබඳ පෝස්ටරයක ආහාර ගත යුතු සංයුතිය මැනවින් දක්වා ඇත. ‘‘මැනලා කන්න‘‘ යනුවෙන් නිර්මාණය කර ඇති බත් පිඟානේ හරි අඩක් බත් හා ප්‍රෝටීන් ආහාර ලෙසද මස් මාළු බිත්තර ආහාර වේලෙන් 1/6 ලෙසද, ඉතිරි 2/6 පළා එළවළු පළතුරු ආදී තංතුමය ආහාර වලින්ද ගත යුතු බව සඳහන් කර ඇත. රෝහල් වල මෙම සමබර ආහාර රටාව යම් තරමකින් ආරක්ෂා වී ඇති අතර බන්ධනාගාරවල හා අනෙකුත් රජයේ නේවාසිකාගාර වල එම නියමයන් නිසි ලෙස ක්‍රිියාත්මක වන්නේ දැයි සැක සහිත වේ. තරබාරුව, බෝනොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට අදාල වෛද්‍ය වරුන් විසින් මෙම සමබර ආහාර වේලේ ඇති වැදගත් කම අවබෝධ කර දෙන අතර එහෙත් එම වෛද්‍ය උපදෙස් පිළි පැදීමට රෝගීන් ක්‍රියාකරන බවක් නොපෙනේ.
බත් ආහාරය කොට ගන්නා රටවල ආහාර වේල් පිළිබඳ පරීක්ෂා කිරීමේ දී ඔවුන් බත් ප්‍රධාන ආහාරය කොට ගත්ත ද ආහාර වේල් සඳහා ගන්නා බත් වල කොටස කුඩා බවත් එය 1/4 ක් හෝ ඊට ඉහළ ප්‍රමාණයක් වන බවත් පෙනේ. එම ආහාර වේල සඳහා මස්, මාළු, බිත්තර, අමු එළවළු හා පළතුරු එක් කර ගන්නා ප්‍රමාණය ඉතා වැඩි බව ද පෙනේ. විශේෂයෙන්ම ජපානයේ ආහාර වේල ඉතා විද්‍යානුකූලව සකස් කරගෙන ඇති අතර ඔවුන්ට සිය වැරදුනු තැන් හඳුනාගැනීමේ දී බත් පිඟාන ද නිවැරදි කර ගත යුතු සාධකයක් යැයි හඳුනාගෙන ක්‍රියා කර ඇති බැව් පෙනේ. ඒ අනුව ජපන් සමාජය බත් පිඟාන යහපත් ලෙස ප්‍රමිතිකරණය කර ඇති බැව් පෙනේ. ජපනුන් ඒ වල විටත් අධික ලෙස බත් පරිභෝජනය කර ඇති අතර මෙමඟින් සිය ජනතාව තරබාරුව විවිධ රෝගාබාධ වලට බඳුන්ව ඇති බව ඔවුන් අවබෝධ කර ගෙන ඇත. මෙම බත් පිඟාන ප්‍රමිතිකරණය මඟින් එම තත්වය ඉඳුරා වෙනස් කළ ජපන් සමාජය සෞඛ්‍ය ආරක්ෂිත සිය ආහාර වේල මගින් සිය ජනතාව බුද්ධිමය හා නිරෝගී ජනතාවක් ලෙසට පෙරට ගෙන ආ බවත් එය ජපානයේ ප්‍රගමනයට බොහෝ සෙයින් ඉවහල් වූ බවත් පෙනේ.
ලියන්නේ කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල විසිනි
බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 01
වසර විස්සකට පමණ පෙර කිසියම් කටයුත්තක් සඳහා මා මිත්‍ර මන්ත්‍රීවරයෙකු හමුවූ අතර, ඒ සඳහා රැස්වීම් දිනක පාර්ලිමේන්තුවට එන ලෙස ඔහු දන්වන ලදී. ඒ අතර අප පාර්ලිමේන්තු දිනක ගිය අතර, සභාව රැස්වී තිබූ බැවින් අදාල අමාත්‍යවරයා හමු වීමට සවස් වන තුරු රැඳී සිටීමට සිදු විය. මෙහිදී ආහාර ගැනීම සඳහා පාස් දෙකක් අප වෙත ලබා දුන් මිත්‍ර මන්ත්‍රීවරයා ඔහු දන්වන තෙක් ගැලරියට ගොස් සභා රැස්වීම් බලන ලෙසට දන්වන ලදී.
මිතුරෙකු සමඟ ගැලරියට වී රැස්වීම් බලමින් සිටි අප දහවල් දොලහ හමාරට පමණ ආපන ශාලාවට යන ලදී. එහිදී දුටු දර්ශනය අපට හුරු පුරුදු නොවූ අතර, එහි විශේෂ යමක් තවමත් මතකයේ පවතී. නමින් පමණක් හඳුනන ප්‍රසිද්ධ ඇමති වරයෙකු කඩිනමින් භෝජනාගාරයට පැමිණි අතර ඔහු පිඟාන සෝදාගෙන ආහාර බෙදා ගත් ආකාරය මා මැනවින් නිරීක්ෂණය කළෙමි. ඇමතිවරයා පළමුව සිය පිඟානට මස් විශාල ප්‍රමාණයක් බෙදාගත් අතර අනතුරුව මාලු හා එළවලු සිය පිඟානට එක් කර ගන්නා ලදී. ඔහු බෙදාගත් මස් හා මාළු වල ප්‍රමාණය පිඟානෙන් භාගයකටත් වඩා වැඩි වේ. ඔහු අනෙකුත් එළවළු හා බැදුම් වර්ගද සිය ආහාරයට බෙදා ගත් අතර පසුව කුඩා හැන්දකින් බත් ස්වල්පයක් පිඟානට එක් කර ගන්නා ලදී. මෙම බත් පිඟානේ සංයුතිය මට ප්‍රසාද ජනක නොවු අතර, එකී ඇමතිතුමා ආහාර විශයෙහි දැක්වූ ප්‍රවනතාවය ඔහු කෙරේ ගෞරවයට ද හානි වී යැයි සිතේ. එම සිදුවීමෙන් වසර කිහිපයකට පසු මා භාර්යාවගේ අත් පා වේදනාව පිළිබඳ විශේෂ වෛද්‍ය වරයෙකු හමු වූ අතර, ඔහු ඒ සඳහා බෙහෙත් නියම කරමින් කොතරම් ඖෂධ ගත්ත ද මෙම රෝගාබාධ සුවකළ නොහැකි බවත් දැඩි ආහාර පාලනයකින් ශරීරය සැහැල්ලු කර ගන්නා ලෙසත් ඇයට උපදෙස් දෙන ලදී. ඔහුගේ උපදෙස් වලට අනුව බත් පරිභෝජනය කළ යුතු ප්‍රමාණය ඉතා අඩු කළ යුතු අතර, එළවළු, මස්, මාළු හා පළතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ නංවන ලෙසට අපදෙස් දෙන ලදී. මෙම වෛද්‍ය උපදෙස් වලට අනුව එදා පාර්ලිමේන්තුවේ දී අර දේශපාලඥයා ගත් ආහාර වේල සෞඛ්‍ය විද්‍යාත්මක ආහාර වේලක් බව මට අවබෝධ විය. එදින සිට අපගේ ආහාර රටාව පිළිබඳ කිසියම් අඩුපාඩුවක් ඇති යැයි වැටහුණු බැවින් ඒ පිළිබඳ විවිධ මූලාශ්‍රයන්ගෙන් කරුණු අධ්‍යයනයට උත්සුක විය.
ලියන්නේ කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල විසිනි
ලියන්නේ කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල විසිනි
Subscribe to:
Comments (Atom)