Wednesday, April 10, 2019

බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 01

වසර විස්සකට පමණ පෙර කිසියම් කටයුත්තක් සඳහා මා මිත්‍ර මන්ත්‍රීවරයෙකු හමුවූ අතර, ඒ සඳහා රැස්වීම් දිනක පාර්ලිමේන්තුවට එන ලෙස ඔහු දන්වන ලදී. ඒ අතර අප පාර්ලිමේන්තු දිනක ගිය අතර, සභාව රැස්වී තිබූ බැවින් අදාල අමාත්‍යවරයා හමු වීමට සවස් වන තුරු රැඳී සිටීමට සිදු විය. මෙහිදී ආහාර ගැනීම සඳහා පාස් දෙකක් අප වෙත ලබා දුන් මිත්‍ර මන්ත්‍රීවරයා ඔහු දන්වන තෙක් ගැලරියට ගොස් සභා රැස්වීම් බලන ලෙසට දන්වන ලදී. මිතුරෙකු සමඟ ගැලරියට වී රැස්වීම් බලමින් සිටි අප දහවල් දොලහ හමාරට පමණ ආපන ශාලාවට යන ලදී. එහිදී දුටු දර්ශනය අපට හුරු පුරුදු නොවූ අතර, එහි විශේෂ යමක් තවමත් මතකයේ පවතී. නමින් පමණක් හඳුනන ප්‍රසිද්ධ ඇමති වරයෙකු කඩිනමින් භෝජනාගාරයට පැමිණි අතර ඔහු පිඟාන සෝදාගෙන ආහාර බෙදා ගත් ආකාරය මා මැනවින් නිරීක්ෂණය කළෙමි. ඇමතිවරයා පළමුව සිය පිඟානට මස් විශාල ප්‍රමාණයක් බෙදාගත් අතර අනතුරුව මාලු හා එළවලු සිය පිඟානට එක් කර ගන්නා ලදී. ඔහු බෙදාගත් මස් හා මාළු වල ප්‍රමාණය පිඟානෙන් භාගයකටත් වඩා වැඩි වේ. ඔහු අනෙකුත් එළවළු හා බැදුම් වර්ගද සිය ආහාරයට බෙදා ගත් අතර පසුව කුඩා හැන්දකින් බත් ස්වල්පයක් පිඟානට එක් කර ගන්නා ලදී. මෙම බත් පිඟානේ සංයුතිය මට ප්‍රසාද ජනක නොවු අතර, එකී ඇමතිතුමා ආහාර විශයෙහි දැක්වූ ප්‍රවනතාවය ඔහු කෙරේ ගෞරවයට ද හානි වී යැයි සිතේ. එම සිදුවීමෙන් වසර කිහිපයකට පසු මා භාර්යාවගේ අත් පා වේදනාව පිළිබඳ විශේෂ වෛද්‍ය වරයෙකු හමු වූ අතර, ඔහු ඒ සඳහා බෙහෙත් නියම කරමින් කොතරම් ඖෂධ ගත්ත ද මෙම රෝගාබාධ සුවකළ නොහැකි බවත් දැඩි ආහාර පාලනයකින් ශරීරය සැහැල්ලු කර ගන්නා ලෙසත් ඇයට උපදෙස් දෙන ලදී. ඔහුගේ උපදෙස් වලට අනුව බත් පරිභෝජනය කළ යුතු ප්‍රමාණය ඉතා අඩු කළ යුතු අතර, එළවළු, මස්, මාළු හා පළතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ නංවන ලෙසට අපදෙස් දෙන ලදී. මෙම වෛද්‍ය උපදෙස් වලට අනුව එදා පාර්ලිමේන්තුවේ දී අර දේශපාලඥයා ගත් ආහාර වේල සෞඛ්‍ය විද්‍යාත්මක ආහාර වේලක් බව මට අවබෝධ විය. එදින සිට අපගේ ආහාර රටාව පිළිබඳ කිසියම් අඩුපාඩුවක් ඇති යැයි වැටහුණු බැවින් ඒ පිළිබඳ විවිධ මූලාශ්‍රයන්ගෙන් කරුණු අධ්‍යයනයට උත්සුක විය.
ලියන්නේ කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල විසිනි

No comments:

Post a Comment