Thursday, April 18, 2019

බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 03

බත් වැඩිපුර ආහාරයට ගැනීම හා දවසේ වේල් තුනටම බත් මූලික කොට ගත් අප සමාජයේ රෝගීන් බහුව වෙමින් බුද්ධිමය අතින් පහළ යන රටක් බවට පත්ව ඇති බව පෙනේ. විශේෂයෙන් ම අපේ කාන්තාවන් අධික ලෙස තරබාරුව ඇති අතර ඔවුන් කොලෙස්ටරෝල් දියවැඩියාව ආදී විවිධ බෝනොවන රෝග වලට බඳුන්ව ඇති අතර පිරිමින් ද මීට සමගාමීව රෝගී වී ඇති බව පෙනේ. විශේෂයෙන්ම අප කාන්තාවන්ගෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් තරබාරුව නිසා පීඩාවට පත් වී ඇති බව පෙනේ. බත් වැඩිපුර ආහාරයට එක් කර ගැනීම මගින් කොලෙස්ටරෝල් දියවැඩියාව ඇතුලු බෝනොවන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති අතර අද වන විට එය 60% පමණ වන බව සංඛ්‍යා ලේඛන විලින් අනාවරණය වේ. මීට බඳුන්ව ඇති අප ආහාර රටාවේ මස්, මාළු හා තංතුමය ආහාර ප්‍රමාණය ඉතා අඩු වන බැවින් ශරීරය අධික ලෙසට තරබාරු වන බවත් මොළය වර්ධනය ඊට සාපේක්ෂව සිදු නොවන බවත් පෙනේ. මෙලෙස රෝගී හා බුද්ධිමය අතින් පහළ යන ජනතාවක් වෙතින් දියුණු සංවර්ධනයක්, ප්‍රගතියක් අපේක්ෂා කරන්නේ කෙලෙසකදැයි ප්‍රශ්න කළ යුතුව ඇත. මෙහදී අප කුඩා කාලයේ දී ගත් ආහාර රටාව පිළිබඳව ද යලි ආපසු හැරී බැලීමක් කළ යුතුව ඇත. එකල වේල තුනෙන් එක් වේලක් බත් හා වෙනත් විකල්ප ආහාරයක් ගැනීමට අප පුරුදුව සිටි අතර, ඉතිරි ආහාර වේල් දෙකට ද එක් කර ගන්නා බත් වල ප්‍රමාණය විශාල නොවිනි. මෙයට දශක තුන හතරට පෙර වු එම ආහාර රටාවේ දී කොස්, දෙල්, අල, බතල, මාළු, දඩමස්, එළවළු හා හොදි වර්ග වලට මුල් තැනක් ලැබුණු අතර, එම දේවල් වල පංගුව ද බත් වලට වඩා වැඩි වූ බව පෙනේ. මෙම පුරාණ කෑම වේල අවසානයේ දී දිවුල් කිරි, වැල වරකා වැනි ස්වාභාවිත පළතුරකට ද ගැමි සමාජය හුරුව තිබිණ. උදය ආහාර සඳහා විවිධ කැඳ වර්ග වලට මුල් කැනක් දුන් අප සමාජය පෙර දින ඉතිරිව තිබූ බත් වලින් දිය බත් හෝ වෙනත් ආහාර සකස් කර අනුභව කළ බව පෙනේ. කොස්, දෙල් වාරයේ දී වැඩිපුර ඇති දේ වියළාගෙන ඒවා නොමැති කලට එම ආහාර අටු කොස්/දෙල් ලෙසට අනුභව කළ බව පෙනේ. අපගේ මෙම පුරාණ ආහාර වේල සුපරීක්ෂා කිරීමේ දී විද්‍යාගාර හෝ වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොලැබුණ ද ඉතා සමබර පෝෂණීය ආහාර වේලක් සරි කර ගැනීමට අපේ ගෘහණියන් සමත් වී ඇත. මෙමගින් අප සමාජය ප්‍රඥාවන්ත භාවයෙන් අනූන නිරෝගී සුපසන් ජාතියක් ලෙසට ලෝකයේ ශක්ති සම්පන්නව සිට බව පෙනේ.
ලියන්නේ කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල විසිනි

2 comments:

  1. ෂා මේක හරි ෂෝක් දිගටම ලියන්න

    ReplyDelete
  2. ස්තුතියි දිරිමත් කිරීමට. දිගමට ලියන්න තමයි කල්පනාව

    ReplyDelete