Tuesday, April 23, 2019

බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 04

තවද එකල අපේ ගෘහණියන්ගේ ආහාර සම්පාදන ක්‍රම වේදද මෙහිලා සලකා බැලීම වටී. අප වට පිටාවේ ඇති දෑ වලින් සිය ආහාර වේල සකස් කර ගැනීමට සමත් එම අය එමඟින් නැවුම් පෝෂණීය සෞඛ්‍යමය ආහාර වේලක් සිය දූ දරුවන්ට ලබා දීමට උනන්දු වී ඇත. මෙම ගෘහණියන් මසකට වරක් හෝ දෙවරක් එරබඳු කොල ව්‍යාංජනයක් සිය දරුවන්ට ලබා දීමට කටයුතු කළ අතර, එමඟින් සිය දරුවන්ගේ ආහාර අරුචිය හා විවිධ පණු රෝග වලට විසඳුම් ලබා දීමටද දැනුවත් වීී ඇත. තවද ගෙවත්තේ වැවුණු අලු කෙසෙල් හෝ ඇඹුල් කෙසෙල් බඩ සමඟ පැපොල් ව්‍යාංජනයක් සපයා දීමට ද එම ගෘහණියන් උනන්දු වී ඇත. සවසට වයස් තරාතිරමක් නොමැතිව ගෘහණියන් කුඹුරු හා ඕවිටි වල සැරිසරණ අතර එහිදී නෙලා ගන්නා පළා වර්ග සෑම ආහාර වේලකටම එක් කර ගැනීමට උත්සාහ කර ඇත. එකල අපේ අම්මලා කරපිංචා, රම්පේ, සේර හා ඉඟුරු ආදී ස්වාභාවික රසකාරක පමණක් භාවිත කළ අතර තෙල් භාවිතය ඉතාම අවම කරන ලදී. අල බතල හා කුරහන් පිටි ආදියට ද සැලකිය යුුතු ස්ථානයක් ලබා දුන් අපේ ගෘහණියන් ආහාර රටාව විවිධාංගීකරණයට ද සමත් වී ඇති බව පෙනේ. මෙමගින් ශ්‍රී ලාංකික ජනතාව ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත්තිය ලබා දියුණු ජන කොටසක්ව පෙනේ. අපගේ මෙම ආහාර රටාව සියවස් ගණනාවක් පරම්පරාවෙන් පරම්පරාවට නොනැසී පැවති අතර බටහිර නතුව තිබූ යුගයේ ද එහි සැලකිය යුතු වෙනස් කිරීම් කිරීමට නොහැකි වූ බව පෙනේ. එකල පාන් කෑම මදිකමක් ලෙස සැලකූ බොහෝ අය බටහිරයන් අනුගමනය කළ ආහාර රටාව පිළිකුල් කළ බව ද පෙනේ. එහෙත් නිදහසින් පසු යුගයේ දී යටත් විජිත සමයේදීවත් නොවූවා සේ අප ආහාර රටාව පූර්ණ වෙනසකට ලක් වූ බව කිව යුතු වේ. මෙහිදී පුවත්පත්, රේඩියෝ, රූපවාහිනී ඇතුළු මාධ්‍ය වලින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනේ. විශේෂයෙන් විශාල වෙළඳ දැන්වීම් පළ කරමින් මාධ්‍ය හරහා කරන එහි දැනුවත් කිරීම් වලට අප සමාජය ඛේදනීය ලෙස බඳුන් වී ඇති බැව් ද මෙමගින් හරසුන් සමාජයක් බවට අප සමාජය පත් ව ඇති බැව් ද පෙනේ. මෙම ඛේදනීය තත්වය හමුවේ වියතුන් හා මහා ප්‍රාඥයින් සිය මඟ පෙන්වීම් නොකර මුනිවත රැකීම මෙම පරිහානියයට කිසියම් ප්‍රමාණයකින් හේතු වී ඇක.
මතු සම්බන්ධයි ලියන්නේ : කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල

No comments:

Post a Comment