Wednesday, April 10, 2019

බත් රස දන්නෝ ලෙඩ හඳුනන්නෝ 02

සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශිත සමබර ආහාර වේල පිළිබඳ පෝස්ටරයක ආහාර ගත යුතු සංයුතිය මැනවින් දක්වා ඇත. ‘‘මැනලා කන්න‘‘ යනුවෙන් නිර්මාණය කර ඇති බත් පිඟානේ හරි අඩක් බත් හා ප්‍රෝටීන් ආහාර ලෙසද මස් මාළු බිත්තර ආහාර වේලෙන් 1/6 ලෙසද, ඉතිරි 2/6 පළා එළවළු පළතුරු ආදී තංතුමය ආහාර වලින්ද ගත යුතු බව සඳහන් කර ඇත. රෝහල් වල මෙම සමබර ආහාර රටාව යම් තරමකින් ආරක්ෂා වී ඇති අතර බන්ධනාගාරවල හා අනෙකුත් රජයේ නේවාසිකාගාර වල එම නියමයන් නිසි ලෙස ක්‍රිියාත්මක වන්නේ දැයි සැක සහිත වේ. තරබාරුව, බෝනොවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට අදාල වෛද්‍ය වරුන් විසින් මෙම සමබර ආහාර වේලේ ඇති වැදගත් කම අවබෝධ කර දෙන අතර එහෙත් එම වෛද්‍ය උපදෙස් පිළි පැදීමට රෝගීන් ක්‍රියාකරන බවක් නොපෙනේ.
බත් ආහාරය කොට ගන්නා රටවල ආහාර වේල් පිළිබඳ පරීක්ෂා කිරීමේ දී ඔවුන් බත් ප්‍රධාන ආහාරය කොට ගත්ත ද ආහාර වේල් සඳහා ගන්නා බත් වල කොටස කුඩා බවත් එය 1/4 ක් හෝ ඊට ඉහළ ප්‍රමාණයක් වන බවත් පෙනේ. එම ආහාර වේල සඳහා මස්, මාළු, බිත්තර, අමු එළවළු හා පළතුරු එක් කර ගන්නා ප්‍රමාණය ඉතා වැඩි බව ද පෙනේ. විශේෂයෙන්ම ජපානයේ ආහාර වේල ඉතා විද්‍යානුකූලව සකස් කරගෙන ඇති අතර ඔවුන්ට සිය වැරදුනු තැන් හඳුනාගැනීමේ දී බත් පිඟාන ද නිවැරදි කර ගත යුතු සාධකයක් යැයි හඳුනාගෙන ක්‍රියා කර ඇති බැව් පෙනේ. ඒ අනුව ජපන් සමාජය බත් පිඟාන යහපත් ලෙස ප්‍රමිතිකරණය කර ඇති බැව් පෙනේ. ජපනුන් ඒ වල විටත් අධික ලෙස බත් පරිභෝජනය කර ඇති අතර මෙමඟින් සිය ජනතාව තරබාරුව විවිධ රෝගාබාධ වලට බඳුන්ව ඇති බව ඔවුන් අවබෝධ කර ගෙන ඇත. මෙම බත් පිඟාන ප්‍රමිතිකරණය මඟින් එම තත්වය ඉඳුරා වෙනස් කළ ජපන් සමාජය සෞඛ්‍ය ආරක්ෂිත සිය ආහාර වේල මගින් සිය ජනතාව බුද්ධිමය හා නිරෝගී ජනතාවක් ලෙසට පෙරට ගෙන ආ බවත් එය ජපානයේ ප්‍රගමනයට බොහෝ සෙයින් ඉවහල් වූ බවත් පෙනේ.

ලියන්නේ කෝංගල ඩබ්.එන්.එන්. ගුණපාල විසිනි

No comments:

Post a Comment